පුවත්

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා ජනරජයේ 2016.08.04 දිනැතිව අංක 12/2016 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ඇති තොරතුරු නිලධාරීන්ගේ නම් සහ විෂය ක්ෂේත්‍රයන් පහත දැක්වේ.

තවදුරටත් කියවන්න...

ඉඩම් නිරවුල් කිරීම යනු කුමක්ද?

ශ්‍රී ලංකා භූමිය තුළ තිබෙන සියළුම ඉඩම්වලින්, රජයේ ඉඩම් මොනවාද? පුද්ගලික ඉඩම් මොනවාද? යන්න තීන්දු කිරීමත්, පුද්ගලික ලෙස තීන්දු කළ ඉඩම්, අදාළ උරුමකරුවන් වෙත පවරා දීමත්, එම ඉඩම් සඳහා ඔවුන්ට පිඹුරුපත් නිකුත් කිරීමත්, රජය සතු ඉඩම් රජය වෙත පවරා දීමත්, ඇතුලත් වූ ක්‍රියාවලිය ඉඩම් නිරවුල් කිරීම යනුවෙන් අදහස් කෙරේ.

ශ්‍රී ලංකාවට ඉඩම් නිරවුල් කිරීම අවශ්‍ය වූයේ ඇයි?

ශ්‍රී ලංකාවට ඉඩම් නිරවුල් කිරීමක් අවශ්‍ය වූයේ ඓතිහාසික පසුබිමක් පදනම් කරගෙනය. 1815 වනතෙක් වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් ඉඩම් භුක්ති විදීමත් පරිහරණය කිරීමත් සිදු කළද එම ඉඩම්වල අයිතිය, රජතුමා සතු වූ බැවින් වැසියන්ට අයිතිය පවරා දීමක් සිදු නොවීය. මෙම තත්ත්වය පවතිද්දී 1815 දී ශ්‍රී ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමත් සමඟ රාජාණ්ඩු ක්‍රමය අහෝසිවිය. බ්‍රිතාන්‍යයන් විසින් 1840 අංක 12 දරණ අනවසර ඉඩම් ආඥා පනත (No. 12 of 1840 The Prevent Encroachments upon Crown Lands) ප්‍රකාශයට පත් කරන ලදි. එම ආඥා පනතින් ප්‍රකාශ කරන ලද්දේ කිසියම් පුද්ගලයෙකුට තම ඉඩම තමාට අයත් බව සනාථ කිරීමට නොහැකි වන්නේ නම්, එම ඉඩම රාජසන්තක වන බවයි. මෙහිදී ශ්‍රී ලාංකිකයන් පාරම්පරිකව භුක්ති විදීම හා වගාව සැලකිල්ලට නොගන්නා ලදි. ඉන් බ්‍රිතාන්‍යයන් අදහස් කළේ අයිතිය සනාථ කිරීම සඳහා ඔප්පු, තිරප්පු, සන්නස් වැනි ලිඛිත සක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. මේ තත්ත්වනය යටතේ 1840 අනවසර ඉඩම් ආඥා පනත නිසා අක්කර දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට අහිමි විය. මෙම තත්ත්තවය ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධතාවයට හා කණස්සල්නට හේතු වූ බැවින්, 1848 දී උඩරට මහ කැරැල්ල ඇති වීමට ද හේතුවක් විය. මේ නිසා බ්‍රිතාන්‍ය රජයට මෙම ගැටළුව විසදීම සඳහා රජයේ ඉඩම් මොනවා ?, පුද්ගලික ඉඩම් මොනවා ද? තීන්දු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සිදුවිය. එම ක්‍රියාවලිය ආරම්භ වූයේ 1897 අංක 1 දරණ මුඩු බිම් ආඥා පනත තුළිනි. (No of 1897 An Ordinance relating to Claims to Forest, Chena Waste and Uncoupled Lands)

ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ඓතිහාසික විකාශය

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 1903 වසරේ දීය. යටත් විජිත පාලකයන් විසින් දිවයිනේ පහතරට ප්‍රදේශයට බලපාන පරිදි 1840 අංක 12 දරණ රජයේ ඉඩම් ආඥා පනත (අනවසර අල්ලා ගැනීම්) පනවා ක්‍රියාත්මක කරන ලදි. එම පනත මගින් අයිතිය ඔප්පු කළ නොහැකිව තිබූ සියළුම ඉඩම් රජය සතු බවට පූර්ව නිගමනයක් කරන ලදි. 1897 අංක 1 දරණ මුඩු බිම් ආඥා පනත පනවන ලද අතර එමගින් වගා නොකරන ලද සියලුම ඉඩම් රජය සතු බවට නීතියක් පනවන ලදි මෙම පනත් ක්‍රියාත්මක කිරීම දිසාපතිවරුන් විසින් ඉටු කරන ලද අතර 1903 දී වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදි. කලක් යන විට ඉඩම් ගැටළු විසදීමට ඉහත පනත ප්‍රමාණවත් නොවූ බැවින්, ඒ සඳහා 1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත පනවා ක්‍රියාත්මක කරන ලද. ප්‍රථම වරට රජයේ පනතක් මගින් පුද්ගලයන්ට ඉඩම් හිමිකම ලබාදීම ආරම්භ වන්නේ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතෙනි.

ඉඩම් නිරවුල් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ නීති

  • 1840 අංක 12 දරණ රජයේ ඉඩම් (අනවසර අල්ලාගැනීම්) ආඥා පනත
  • 1897 අංක 1 දරණ මුඩුබිම් ආඥා පනත
  • 1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත
  • ලේඛන ලියාපදිංචි කිරීමේ පනත

ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය

  • මූලික ඉඩම් පරීක්ෂාව
  • මිනුම්පති වෙතින් මූලික පිඹුරු ලැබුණු පසු බිම් කට්ටි පරීක්ෂාව හා ප්‍රවේණි හා නිරවුල් කළ යුතු ඉඩම් හඳුනා ගැනීම.
  • නිරවුල් කිරීමේ දැන්වීම පළ කිරීම හා ප්‍රචාරය කිරීම..
  • උරුම ලියාපදිංචි කිරීම හා නිරවුල් කිරීමේ විභාග පැවැත්වීම.
  • මැන වෙන්කිරීම් අවශ්‍ය නම් එම අවශ්‍යතා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
  • මැන වෙන් කිරීම් ලැබුණු පසු රේඛා චිත්‍ර ඉල්ලුම් කිරීම.
  • නිරවුල් කිරීමේ ආඥාව සකස් කර පුද්ගලයන්ට නිරවුල් කරන ලද ඉඩම්, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීම.
  • නිරවුල් කිරීම් සඳහා ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීම.
  • නිරවුල් කිරීමේ ආඥාව ගැසට් පත්‍රයේ පළ කිරීම හා පිඹුරු හා ගැසට් පත් බෙදා දීම.
  • ගම නිදහස් කිරීම.

නිරවුල් කිරීමේ කටයුතු ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට සහාය වන ආයතන

  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  • දිසාපති කාර්යාල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • සියළුම දිසා අධිකරණ හා පිස්කල් කාර්යාල
  • රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

ඉඩම් නිරවුල් කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ

  • නීත්‍යානුකූල හිමිකමක් නොමැතිව බුක්තිවිඳින ඉඩම් සඳහා නීත්‍යානුකූල හිමිකමක්.
  • රජයේ ඉඩම්වල අයිතිය තහවුරු කිරීම.
  • පාරම්පරික අයිතිය තහවුරු වීම.

ඉඩම් සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු විශේෂ කරුණුs

  • ඕනෑම ඉඩමක් ප්‍රථම වරට ලියාපදිංචි කිරීම රජයේ ලියවිල්ලක් පදනම් කරගෙන කළ යුතු වීම.
  • ඉඩම් ගණුදෙනු කරන ලියවිලිවල අනිවාර්යයෙන්ම පෙර ලියාපදිංචි විස්තර ඇතුලත් විය යුතු බව.
  • නැවත නැවත කරනු ලබන ලියාපදිංචි කිරීම් මුල් ලියාපදිංචියට සම්බන්ධ විය යුතු බව.
  • ඉඩම පිළිබඳ ඕනෑම ලියවිල්ලක නිශ්චිත සීමා මායිම් සඳහන් විය යුතු බව.
  • ඉඩමක වර්ග ප්‍රමාණය මානක සැලැස්මකින් තහවුරු විය යුතු බව.

අප වෙතින් ඔබට ලබා ගත හැකි තොරතුරු

  • මුඩු බිම් ආඥා පනත සහ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ නිරවුල් කරන ලද ගම් පිළිබඳ විස්තර
  • මුඩු බිම් ආඥා පනත සහ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ නිරවුල් කරන ලද ගම්වල නිරවුල් කිරීමට අදාල කර නොගත් ප්‍රවේණි ඉඩම් පිළිබඳ විස්තර
  • ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ පුද්ගලික ලෙස නිරවුල් කරන ලද ඉඩම් හා පුද්ගලයන් සම්බන්ධ තොරතුරු
  • ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තු‍ව විසින් රජය සතු ලෙස ප්‍රකාශ කර අති ඉඩම් පිළිබඳ තොරතුරු
  • නිරවුල් කිරීමේ ආඥා පලකරන ගැසට් පත්‍ර පිළිබඳ තොරතුරු